ශ්‍රී ලංකාව තරග 3 – 0 කින් පාකිස්තානය පරදයි

ඕෂධ ප්‍රනාන්දුගේ විශිෂ්ඨ පිතිහරඹයත්, වනිදු හසරංගගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙක් ලකුණු 13ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 09 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත වූ විස්සයි 20 තරගාවලිය තරග 3 -0 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 148ක ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 134 ක් පමණි.

පාකිස්තාන දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 76ක සබඳතාවයක් ගොඩ නැගමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට බාබර් අසාම් සහ හරිස් සොහේල් උත්සාහ කළද, ලකුණු 27ක්ලබාසිටි බාබාර් අසාම් පිටියෙන් ඉවත් කිරීමත් සමග තරගය යළිත් ශ්‍රී ලංකාව වෙත නතුවිය.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හරිස් සොහේල් පන්දු 50කදී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 52ක් රැස් කිරීමට සමත් විය.

පාකිස්තානය සතුව පැවති තරගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වෙත නතුකළ වනිදු හසරංග ලකුණු 21කට කඩුලු 3ක් සහ ලහිරු කුමාර ලකුණු 24කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 5ක් සමගින් තරගයට අවතීර්ණ වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික්‍රමට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට මොහොමඩ් අමීර්ගෙන් අවස්ථාවක් හිමි නොවීය.

ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම ලකුණු 58ක් තළ නැවතත් ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්වෙද්දී, ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ ඕෂධ ප්‍රනාන්දු සහ දසුන් ශානක 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 76 ක සබඳතාවයක් ගොඩ නැගිමට සමත් වූයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙමිනි.

තම මංගල විස්සයි 20 තරගයට ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 48කදී හයේ පහර -3ක් සහ හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 78 ක් රැස් කිරමට සමත් විය.

පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් ලකුණු 27කට කඩුලු 3ක් බිද හෙලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු -147

( ඕෂධ ප්‍රනාන්දු නොදැවී 78, ඇන්ජලෝ පෙරේරා 13, දසුන් ශානක 12, සදීර සමරවික්‍රම 12, මොහොමඩ් අමීර් 27/3 )

පාකිස්තාන කණ්ඩායම – පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ලකුණු 134

( බාබර් අසාම් 27, හරිස් සොහේල් 52, සෆ්රාස් අහමඩ් 17, වනිදු හසරංග 20/3, ලහිරු කුමාර 24/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.