තම මහන්සියෙන් ඉහළට ආ පුද්ගලයෙකු, අනෙකාට උදව් කිරීමට දෙවරක් නොසිතන්නේය. එකී මහන්සියේ ප්‍රතිඵල අනෙකා සමග බෙදා ගැනීමට ඔහු හෝ ඇය මැලි නොවනු බව අපි නොයෙකුත් චරිත පිරික්සීමේදී දැක ඇත්තෙමු. අද අපේ කතා නායකයා වන්නේ එවන් පුද්ගලයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි සේ ආදරය කළ ඔහු වෙහෙසකාරී ගමනකින් පසුව තමන්ගේ ජීවිකාව බවට පත්කර ගන්නේ ද ක්‍රිකට් ක්‍රීඩාවයි. ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අදිටනින් එහි දොරකඩටම පැමිණියද, එය ඔහුගෙන් උදුරා ගත්තේ නොසිතූ නිමේෂයක නොසිතූ අයුරිනි. එහෙත් උත්සාහය අත් නොහල ඔහු, අද වනවිට තමන් ඉගෙනගත් දෙය මතුපරපුර වෙනුවෙන් දායාද කරමින් සිටියි. ඔහු වෙන කිසිවෙකු නොව, මේ වනවිට ඩුබායිහි ඩෙසර්ට් කබ් ක්‍රිකට් පුහුණු ආයතනයේ සේවයේ නියතු කපුගම ගීගනගේ ප්‍රියන්තය. ඔහු සැමගේම ආදරය දිනා ඇත්තේ, කේ. ජී ප්‍රියන්ත යනුවෙනි.
ඉතින් කොහොමද මේ දිනවල වැඩ කටයුතු ?
වරදක් නැහැ. ඩෙසර්ට් කබ් ක්‍රිකට් පුහුණු ආයතනයේ මම ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානියෙකු වශයෙන් වැඩ කරනවා. නිතරම ඉතින් ළමයි එක්ක තමයි ගැවසෙන්නේ. මම දන්න දැනුම ඔවුන් සමග බෙදා ගනිමින් ඔවුන්ට නිවරදි දේ කියා දෙන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ.
ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්නේ කොහොමද?
මම ඉස්සෙල්ලම වැල්ලවත්තේ පිටර්සන් ක්‍රීඩා සමාජයෙන් තමයි මෙම ගමන ආරම්භ කරන්නේ. එතම තමයි මගේ ක්‍රිකට් උත්පත්තිය සිදු වුණේ කීවොත් නිවරදියි. මට මතකයි ඒ දවස්වල අසන්ත දි මෙල් මහත්මයත් එතන ක්‍රීඩා කලා. ඊට පස්සේ තමයි මම කොළඹ ඉසිපතන විද්‍යාලයේ 11න් පහළ ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදා වුණේ. ලලිත් ජයසුන්දර සර් තමයි මගේ පළමු ගුරුවරයා වෙන්නේ. 1983 දී 15න් පහළ සමස්ත ලංකා ශූරතාවය දිනා ගන්න අපිට පුළුවන් වුණා. මම 15න් පහළ ක්‍රීඩා කරද්දී, මට ශාන්ත තොම්ස් විද්‍යාලයට එරෙහිව ලකුණු 12කට කඩුලු 9ක් බිද හෙලන්න පුළුවන් වුණා. එතනින් පස්සේ මට 17න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන්න අවස්ථාව හිමි වෙනවා. මම ඒ අවධිය වනවිට හොඳටම දක්ෂතා අතර සිටපු නිසා මට 1983/84 කාලයේදී ඉසිපතන විද්‍යාලයීය හොඳම 11 දෙනා අතරට එක් වීමට අවස්ථාව ලැබෙනවා. මම 19න් පහළ සහභාගී වුණු පළමු තරගයේදීම වෙස්ලි විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක් දවාගන්නවා. එතනින් පස්සේ මම 1986 දී අසංක ගුරුසිංහගේ නායකත්වයෙන් යුතුව එංගලන්ත සංචාරයකට එක් වෙන්න අවස්ථාව හිමි වෙනවා. මට 1987 දී බිග් මැච් එකේදී ඉසිපතන විද්‍යාලයේ 19න් පහළ කණ්ඩායමේ නායකත්වය පවා හිමි වෙනවා. මගේ ජීවිතයේ ගොඩක් සතුටු දැනුනු දවසක් තමයි 1988 පැවති 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියට තෝරාගෙන කියලා ආරංචි උනාම. ඕනම ක්‍රීඩකයෙක්ට හීනයක් තියෙනවා ජාතික කණ්ඩායමක් නියෝජනය කරන්න. අධ්‍යාපනය ඒ හැමදේම කැප කරලා තමයි ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගොඩක් අය යොමු වෙන්නේ. ඉතින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මංගල යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගවලිය පවත්වන්නේ අපේ කාලයේදී තමයි. ඉතින් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න ලැබීම ලොකු සතුටක්. ඒ කණ්ඩායමේ සනත් ජයසූරිය, චන්දික හතුරුසිංහ වැනි ජාතික තලය නියෝජනය කළ ක්‍රීඩකයන් හිටියා. මගේ පාසල් අවධිය ක්‍රිකට් එක්කම තමයි ඉතින් ගෙවිල ගියේ.
පාසල් අවධියෙන් පස්සේ ඔබේ ජීවිතය කොහොමද ක්‍රිකට් සමග ගෙවුනේ?
මම පාසලෙන් ඉවත් වීමත් සමග මම කෙලින්ම සම්බන්ධ වෙන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට. මම එතනදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යොමු වෙන්නේ පළමු පෙළ තරග ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් යුතුව. ඒ අවධියේ මම පළමු පෙළ තරග වලදී හොඳින්ම කරලා තිබුණේ. පාකිස්තාන බී කණ්ඩායම සමගින් පැවති තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනිමේ සංචිතයේ පවා මම හිටියා. ඒත් කිසියම් හේතුවක් නිසා තේරීම් කමිටුව මාව තෝර ගන්නේ නැහැ. අද වගේ නොවෙයි, ඒ කාලේ කණ්ඩායමට එනවා කියන්නේ ලේසි නැහැ. දක්ෂතා තිබුණු ගොඩක් අය හිටියා. සමහරුන්ට අවස්ථාව හිමි වුනා. තවත් සමහරුවන්ට ඒ අවස්ථාව පහුවෙලා ලැබුණා. ඒත් මට ජාතික කණ්ඩායමට එන්න අවස්ථාවක් හිමි වුණේ නැහැ. ජාතික කන්ඩායම නියෝජනය කළ, සනත් ජයසූරිය, ඈෂ්ලි ද සිල්වා, චම්පික රාමනායක, හෂාන් තිලකරත්න, අසංක ගුරුසිංහ, අර්ජුන රණතුංග, රොමේෂ් කලුවිතාරණ, රන්ජන් මඩුගල්ල වැනි ක්‍රීඩකයන් බොහෝමයක් සමග මම ක්‍රීඩා කරලා තියෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන්න ඒ අවධියේ ගෙදරින් ලැබුණු සහය කොහොමද?
ගෙදරින් මට සහයෝගයක් ලැබුණා. තාත්තා තමයි ඉතින් මැච් බලන්න එන්නේ. නමුත් තාත්තා වැඩිය ලොකු කැමැත්තක් දැකුවූයේ නැහැ. ඒකට හේතුව වෙන්න ඇත්තේ මම අධ්‍යාපනය හරියට කරගෙන යනේකම් නැහැ කියලා වෙන්න ඇති. ඊට පස්සේ තාත්තා මට ක්‍රිකට් ගහන එක නැවත්තුවා. නමුත් මගේ පාසලේ විද්‍යා ගුරුවරිය වන මාලති පෙරේරා ගුරුතුමිය තමයි ගෙදර එක්ක කතා කරලා මට නැවත ක්‍රිකට් ගහන්න අවස්ථාව අරන් දෙන්නේ. එතනින් පස්සේ මම හරියාකාරව ක්‍රීඩාව සහ අධ්‍යාපනය කරගෙන යනවා. මගේ තාත්තා සාමන්‍ය රැකියාවක් කරපු කෙනෙක්. අම්ම නම් රැකියාවක් කළේ නැහැ.
ඔබ ක්‍රීඩාවක් වශයෙන් ක්‍රිකට් විතරමද ප්‍රගුණ කලේ?
නැහැ. ඇත්තම කියන නම්, මම ක්‍රිකට් වලට වගේම මළල ක්‍රීඩාවත් ගොඩක් දක්ෂයි. මම පාසල් අවධියේ මළල ක්‍රීඩා තරග වලින් ජයග්‍රහණ රැසක් අරගෙන තියෙනවා. නමුත් මට ඕන වුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න. මම පන්දු යවන්නෙක් විදියට මට මළල ක්‍රීඩාව ගොඩාක් උපයෝගි වුණා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කර ගන්න. මම කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරියෙක් විදියට සේවය කළා. මම ගුවන් හමුදාවේ සේවය කරන ගමනුත් ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන ගියා. . නමුත් පසුකාලීනව මට පිට කොන්දේ වේදනාවක් එන්න පටන් ගත්තා. ඉතින් මම තීරණය කළා පස්සේ තාවකාලිකව හෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න.
පුහුණුකරුවෙක් දක්වා ආපු ගමන් මග ගැන පැහැදිලි කළොත් ?
මම ඩුබායි ආවට පස්සේ මම කාලයක් මේහේ ක්‍රීඩා කලා. ඊට පස්සේ, මම එම්බ්ර්ල් කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදියට කටයුතු කළා. ඊට පස්සේ මම නිත්‍යානුකූලවම අයි සී සී එකේ කෝචින් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මට ඩෙසර්ට් කබ් ක්‍රිකට් පුහුණු ආයතනයේ අයිතිකරු වන ප්‍රෙස්ලි පොලොන්නවිට මුණ ගැහෙනවා. ඉතින් මුල් කාලීනන වෙනත් රැකියාවක් කරන ගමන් තමයි පුහුණුකරුවෙක් විදියට වැඩ කළේ. නමුත් දැන් මම පූර්ණ කාලීනවම පුහුණුකරුවෙක් විදියට ඩෙසර්ට් කබ් ක්‍රිකට් ආයතනයේ සේවය කරනවා. මම ඩුබායි වලට ඇවිල්ලා දැන් වසර 23ක් පමණ වෙනවා. එයින් වසර 20ක් විතර මම ක්‍රිකට් පුහුණුකරුවෙක් විදියට තමයි සේවය කළේ.
පුහුණුකරුවෙක් විදියට ඔබේ දැනුම, අනාගත පරපුර වෙනුවෙන් ලබා දෙන්න යම් කිසි වැඩ පිළිවෙළක් තියෙනව ද ?
මට හිතුනු දෙයක් තමයි මමත් ගොඩක් අමාරුවෙන් ක්‍රිකට් ගැහුවේ. ඉතින් ගොඩාක් දක්ෂ ළමයි ඉන්නවා තමන්ගේ හැකියාව පෙන්න ගන්න බැරුව. ඔවුන්ට හොද මග පෙන්වීමක් වගේම ක්‍රීඩා සමාජයක සම්බන්ධ වෙලා ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගන්න අවස්ථාව නැති පිරිසක් ඉන්නවා අපේ රටේ. ඉතින් ඒ ළමයි වෙනුවෙන් මම තීරණය කළා මම ඉගෙනගත් දෙය මට පුළුවන් විදියට සමාජගත කරන්න පුළුවන් නම් ඒ දේ තමයි වටින්නේ. ඒ නිසා මම යූටියුබ් චැනල් එක්ක ඕපන් කළා. ඒ ඔස්සේ මම සෑම සතියකටම ක්‍රිකට් සම්බන්ධ පාඩමක් ක්‍රිකට් ක්‍රීඩාව හදාරන්න සිටින කුඩා දරුවන් වෙනුවෙන් තිළිණ කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඔබව කොහොමද යූටියුබ් එක ඔස්සේ, සම්බන්ධ කරගත හැක්කේ ?
ඔව් දැනටමත්, අපි ඒ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. යූටියුබ් එකට ඇවිත් Self Learn Cricket With Coach KG කියලා සර්ච් කළොත් ඕනෑම කෙනෙකුට අප හා සම්බන්ධ වීමට අවස්ථාව තියෙනවා. ඒ ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව මුල සිට අගටම ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා.
<<ක්‍රිකට් ඉගෙන ගන්න Self Learn Cricket With Coach KG සමග එක්වන්න >>
ඔබට ඩෙසර්ට් කබ් ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන සහය කොහොමද ?
ඔව් මේ වෙලාවේ මම අනිවාර්යෙන්ම ඩෙසර් කබ් ක්‍රිකට් පුහුණු ආයතනයේ ප්‍රධානියා සම්බන්ධයෙන් වචනයක් සඳහන් කරන්න ඕන. ඔහු නමින් ප්‍රෙස්ලි පොලොන්නවිට. ඔහු යටතේ මම දැන් අවුරුදු 10ක් තිස්සේ පමණ සිට පුහුණුවීම් කටයුතු තරගෙන යනවා. ඉතින් මගේ මේ වැඩ සටහන සම්බන්ධයෙන් සඳහන් කළාමත් ඔහු මට කීවේ කේ ජී ඔයා ඔය වැඩසටහනට හොඳට කරගෙන යන්න කියලා. ඉතින් ඔහුගේ ආශිර්වාදය තියෙනවා. ඒ වගේම මේ වෙලාවේදී මම ඩෙසර්කබ් ක්‍රිකට් ආයතනයේ සියලුම කාර්යය මණ්ඩලය ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මේ දේ ජනතාව අතරට ගෙන යන්න, www.srilankasports.com වෙබ් සයිඩ් එක මට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ස්තූති වන්ත වනවා.
Be the first to comment