ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 202 ක විශිෂ්ඨ ජයක් ලැබීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද ( 22 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තරග 3 – 0 කින් ජය ගැනීමට ඉන්දියාවට හැකිවිය.
ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ඉන්දියාව මෙතෙක් සහභාගී වූ තරග 5ම ජයගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද දකුණු සංඛ්‍යාව 240කි.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9කට ලකුණු 497ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවමින් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබාදුන්නේය.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ රොහිත් ශර්මා සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කරමින් පන්දු 255 කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 28ක් සමගින් ලකුණු 212 ක් රැස් කිරිමට සමත් විය.ඔහුට අනගි සහයක් ලබාදුන් අජින්ක්‍යා රහානේ ලකුණු 115ක් රැස් කරමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීය.
පන්දු යැවීමේදී ජෝජ් ලින්ඩි ලකුණු 133කට කඩුලු 4ක් සහ කගීසෝ රබාඩා ලකුණු 85කට කඩුලු 3 බැගින් බිද හෙලීමට සමත් වූහ.
ඉන්දීයාව පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 497ට පිළිතුරු පළමු ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 162ක් පමණි. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සුබේර් හම්සා ලකුණු 62ක් රැස් කිරමට සමත් විය.
පන්දු යැවීමේදී උමේෂ් යාදේව් ලකුණු 40 කට කඩුලු 3ක් බිදහෙලද්දී, මොහොමඩ් ශාමි,එස් නදීම් සහ රවින්ද්‍ර ජඩේජා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 335ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු කන්ඩායමට සිය දෙවැනි ඉනිමේදී ද සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 133 ක් පමණි.
පළමු ඉනිමේදී මෙන්ම විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ උමේෂ් යාදේව් සහ මොහොමඩ් ශාමි අතරේ කඩුලු 5ක් බෙදී ගියහ. එහිදී මොහොමඩ් ශාමී ලකුණු 10කට කඩුලු 3ක් සහ උමේෂ් යාදේව් ලකුණු 35කට කඩුලු 2 බැගින් බිද හෙලූහ. ඔවුන් දෙදෙනාට අනගි සහයක් ලබාදුන් එස් නදීම් ලකුණු 18කට කඩුලු 2 ක් බිද හෙලමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයීය.
අවසන් තරගයේ වීරයා සම්මානය මෙන්ම සමස්ත තරගාවලියේ වීරයා සම්මානයද ඉන්දීය ආරම්භක පිතිකරු රොහිත් ෂර්මාට හිමි විය.
ඉන්දීය පළමු ඉනිම – කඩුලු 9කට 497
දකුණු අප්‍රිකා පළමු ඉනිම – සියලු දෙනාදැවී ලකුණු 162
දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී ලකුණු 133
Be the first to comment