2019 කත්මණ්ඩු සාග් උළෙලේ දී මැතිව් අබේසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් පිහිනුම් ඉසව්වෙන් මුල් ම රන් පදක්කම දිනා ගත් පුවත දක්නට ලැබිණ.
පිහිනුම් ඉසව්වේදී ශ්‍රී ලංකාව හිමිවූ රන් පදක්කම් ත්‍රිත්වයට හිමිකම් කීමට මැතිව් අබේසිංහ සමත් විය. එහිදී මීටර් 200 නිදහස් ආර, මීටර් 100 සමනල ආර සහ මීටර් 100 සහාය ඉසව්වේ රන් දිනා ගැනීමට මැතිව් සමත් වූ අතර ඔහු සමගින් අකලංක පීරිස්, ස්ටෙපාන් පෙරේරා සහ කාවින්ද්‍ර නුගවෙල සහාය කණ්ඩායමට එක්වූහ.
කාන්තා මීටර් 100 සහාය ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවූ අතර එම කණ්ඩායමට භක්ති කරුණාසේන, සන්දු සවිදි, ගංගා සෙනෙවිරත්න සහ හිරුකි ද සිල්වා එක්වූහ. කිරාන් ජාසිංහ සහ රමුදි සමරකෝන් පිළිවෙළින් පිරිමි සහ කාන්තා මීටර් 200 පසුපසආර ලෝකඩ පදක්කම් දිනා ගත්හ. අනිකා ගෆූර් මීටර් 100 සමනල ආර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
2016 ධකා සාග් උළෙලේ දී ද මේ පුවත ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ම රන් පදක්කම ලෙසින් අසන්නට ලැබුණු මොහොතේ මැතිව් අබේසිංහ වෙත ලියූ සටහන නැවත වරක් පල කරන්නට සිත් දෙන්නේ සමස්ත ලාංකේය ක්‍රීඩා ක්ෂේත්රයට ම එය තව දුරටත් අදාල වන බැවිනි.
මෙවැනි දෑ ලිවීම අපගේ තක්කඩි බව හෝ කුහක බව යනුවෙන් කෙනෙක්ට පෙනෙන්නට හැකි අතර එය එසේ නම් ; අපගේ කුහක බව සහ තක්කඩි බව තනුක වනවා විනා සාන්ද්‍ර වන්නේ නැති බව ද දන්වනු කැමැත්තෙමු. මෙවැනි දෑ නිතර නිතර ලියා සිහිපත් කළ ද , තව දුරටත් පල මඩ ගොහොරුවක් වූ ක්‍රීඩා ක්ෂේත්රයක ක්‍රීඩක
ක්‍රීඩිකාවන් සමග සෙල්ෆි ගැසීමේ උන්මාදයකින් තොර අපි ඉදිරියටත් මේවා ලියමින් අපගේ කුහකත්වය සහ තක්කඩි බව ප්‍රදර්ශනය කරන බවටත් කල් තබා නෝටිස් දෙන්නෙමු. ඒ මල් පෙති වැනි ඔබගේ ළපටි සිත් නොරිදෙනු පිණිස ය.
— — —
2016 පෙබරවාරි 08
මැතිව් අබේසිංහ වෙත ලියමි ,
අප සැම ප්රමෝදයට පත් කරමින් 2016 සාග් උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ගෙන එන්නේ ඔබය. අද දිනයේ මේ මොහොත වන විට පමණක් ඔබ දිනූ රන් පදක්කම් සංඛ්‍යාව පහකි. ඒ නව තරග වාර්තා හතරක්ද සමගිනි. ඔබ සමග 100×4 නිදහස් ආර සහාය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනූ කණ්ඩායමේ සිටි කයිල් අබේසිංහ යනු ඔබගේ බාල සොහොයුරා වීම ඉමහත් සතුට ට කරුණකි. ඒ ඉමහත් සතුට ට හේතුවක් ඇත.
2006 කොළඹ පැවති සාග් උළෙලේ ලංකා ධජය ඉහළ නැං වූ දෙවන රන් පදක්කමේ හිමිකරු ඇන්ඩෲ අබේසිංහ නම් පසළොස් හැවිරිදි ගැටවරයෙකි. සාග් තේරීම් තරග පවත්වද්දී ඇන්ඩෲ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. තේරීම් තරග වලට සහභාගී වීම සඳහාම ඇන්ඩෲ දෙවතාවක්ම ලංකාවට පැමිණි නුමුදු ඒ දෙවතාවේ දීම තේරීම් තරග කල් දැමීමට බලධරයින් තීරණය කරති. එවකට ලාබාල සිසුවෙකු වූ ඇන්ඩෲ ට තෙවැනි වරටත් ලංකාවට පැමිණෙන්නට ඇති නොහැකියාව මතම ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතලන්නට දේශීය පිහිණුම් බලධරයින් ක්‍රියා කළහ. නමුත් ඒ වන විට ඇන්ඩෲ සිටියේ ජාත්‍යන්තර තරග වලදී ඉතා ඉහළ හැකියාවන් පෙන්වා සහ විශිෂ්ඨ තරග නිමි කාලයන් සහිතව ය. ඉහළ බලධරයින් මේ පිළිබඳව දැනුවත් වීමත් සමග පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ජාත්‍යන්තර කුසලතාවයන් නිර්ණය කොට ඇන්ඩෲ අබේසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගත් හ.
සැබෑ තරගය පැවතුණේ ඉන් අනතුරුවය.ඇන්ඩෲ අබේසිංහ රට වෙනුවෙන් සුගතදාස පිහිණුම් තටාකයේ දියරළ සමග පොර බදින සඳ පිටතින් ඇසෙන්නේ ” කමෝන් ඇමරිකා ” යන ප්‍රීති ඝෝෂාවයි. ඒ හඬ ශ්‍රී ලාංකික දෙමාපිය කණ්ඩායමක ගෙනි. ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් නොලැබූ ක්‍රීඩකයින්ගේ දෙමාපිය පිරිසක් සංවිධාන වී සාග් තටාකය අසල හිඳ තම රට වෙනුවෙන් තරග වදින ක්‍රීඩකයාට ඊර්ෂ්‍යා පරවශව කෑ කොස්සන් ගසන්නේ එලෙසිනි. එයට පෙර ඔවුන් ලංකාව වෙනුවෙන් තරග කරන ඇන්ඩෲ ගේ යෝග්‍යතාව පිළිබඳව ප්‍රශ්න නගමින් ඉන්දියානු සහ පාකිස්ථානු බලධාරීන් වෙත ලිඛිත පෙත්සම් ද යවා තිබිණ.
ඉදින් මැතිව් , එපමණක් ද නොව කයිල්
ජාතිකත්වය ගැන සහ දේශප්‍රේමය ගැන වහසි බස් පමණක් දොඩන , ක්‍රියාවෙන් අමන වූ රටක් වෙනුවෙන් පිහිනන්නට ගත් තීරණය වෙනුවෙන් ඔබට තුති. දස වසරකට ඉහත දී වැඩිමහලු පුතු විඳි කටුක අත්දැකීම ඉවසා, තවත් ටානියා වැන්හියර් ලා බිහි නොකර බාල පුතුන් දෙදෙනා ද ලංකා ධජය යටතේ තරග කරවන්නට තරම් ධෛර්යමත් වූ , මනෝජ් අබේසිංහ නම් වූ පියා ට / පුහුණුකරුට අපගේ කෘතඥතාවය පිරි නමමු.
මැතිව් සහ කයිල් – මේ ඔබ ජයග්‍රහණය කළේ දකුණු ආසියාව පමණක් ම නොවේ.
දස වසකට එපිට ශ්‍රී ලාංකීයත්වයට නිගා දෙමින් , ඔබේ සහෝදරයා ඇන්ඩෲට “කමෝන් ඇමරිකා ” කියා කෑ ගැසූ ක්‍රීඩාවේ අරමුණ නොදත් අමන දෙමාපිය ප්රජාවය.
කමෝන් ශ්‍රී ලංකා
– සහන් කසීර වික්‍රමසිංහ –
Be the first to comment