යොවුන් ලෝක කුසලාන තරගාවලිය උණුසුම් වන ලකුණු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 13 වැනි වරට සංවිධාන කරන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (17) දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රූම් දී ආරම්භ වෙයි.

ලබන මස 9 වැනිදා දක්වා පැවැත්වෙන මේ තරගාවලියට තරග 48ක් ඇතුළත් වන අතර මූලික වටය මේ මස 25 වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක දකුණු අප්‍රිකාව අද (17) ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙයි. මේ සියලුම තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වෙයි.

අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 11ක් සහ මේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලි ජයගත් කණ්ඩායම් 5ක් මීට එක්වෙයි. ඒ අනුව පසුගිය වර ශූරයන් වූ ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අයි.සී.සී. පූර්ණ සාමාජිකයන් ලෙස තරගාවලියට එක්වන අතර සුදුසුකම් ලබාගැනීමේ කලාප තරගාවලි ජයගනිමින් නයිජිරියාව, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්කොට්ලන්තය සහ ජපානය තරගාවලියට එක්විය.

වසර 1988 දී කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් මේ තරගාවලිය ආරම්භ වූ අතර පළමුවර ශූරයන්වීමට ඔස්ට්‍රේලියාව සමත්වූයේ පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමිනි.

මෙතෙක් පැවැති තරග 12 අතුරින් වැඩිම ශූරතා ගණනකට හිමිකම් කියන්නේ ඉන්දියාවයි. ඔවුන් අවසන් වර (2018) ජයත් සමගින් ශූරතා 4ක් දිනා ඇති අතර ඔස්ට්‍රේලියා තෙවරක් ශූරයන් වී තිබේ. පාකිස්තානය 2ක් මේ තරගාවලිය ජයගෙන ඇති අතර එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් එක් වරක් බැගින් ශූරයන් වී තිබේ. වසර 2000දී ශ්‍රී ලංකාවේ පැවැති තෙවැනි තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීම ශ්‍රී ලංකාව මේ තරගාවලියේ අත්කරගෙන ඇති ඉහළම ස්ථානයයි.අවසන් වරට නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේ දී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව මූලික වටයෙන් ඉවතට විසිවූ අතර කණ්ඩායම් 16ක් අතුරින් 9 වැනි ස්ථානයට පත්විය. එවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නිපුන් ධනංජය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ ‘ඒ’ කාණ්ඩයෙනි. ඉන්දියාව, නවසීලන්තය සහ පළමු වරට ලෝක කුසලාන තරගාවලියට එක්වන ජපානය ද එම කාණ්ඩයට ඇතුළත් වෙයි. ශ්‍රී ලංකාව සහභාගීවන මූලික වටයේ පළමු තරගය 19 වැනිදා ඉන්දියාව සමගින් පැවැත්වෙන අතර දෙවැනි තරගය 22 වැනිදා නවසීලන්තයට එරෙහිවත්, තෙවැනි තරගය 25 වැනිදා ජපානයට එරෙහිවත් පැවැත්වෙයි.

තරගාවලියට එක්වන අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), නවෝද් පරණවිතාන, කමිල් මිශාර, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූෂ, රවිඳු රසාන්ත, මොහොමඩ් ශමාස්, තවීෂ අභිෂේක්, චමිඳු විජේසිංහ, අෂේන් ඩැනියෙල්, දිලුම් සුධීර, කවිඳු නදීෂාන්, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, අම්ෂී ද සිල්වා.

තරගාවලිය එක්වන කණ්ඩායම්

‘ඒ’ කාණ්ඩය – ඉන්දියා, ශ්‍රී ලංකාව, නවසීලන්තය, ජපානය

‘බී’ කාණ්ඩය – ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නයිජීරියාව

‘සී’ කාණ්ඩය – බංග්ලාදේශය, පාකිස්තානය, සිම්බාබ්වේ, ස්කොට්ලන්තය

‘ඩී’ කාණ්ඩය – ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව, කැනඩාව, එක්සත් අරාබි එමීර්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.