ක්‍රීඩාවේ අවංකභාවය රකින විශේෂ පොලිස් විමර්ශන ඒකකය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලු ජාතික ක්‍රීඩාවල අවංකභාවය ආරක්ෂා කිරීම හා යහපත් ලෙස පවත්වාගෙන යෑමේ අරමුණින් ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම හා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැළැක්වීම උදෙසා විශේෂ පොලිස් විමර්ශන ඒකකය ආරම්භ කරයි.

ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා උපදෙස් පරිදි ස්ථාපිත කෙරුණු මේ විශේෂ ඒකකයේ මෙහෙයුම් කාර්යාලය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පරීශ්‍රයේදී ඊයේ පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා අතින් සුබ මොහොතින් විවෘත කෙරුණි.

මේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය ස්වාධීන හා අපක්ෂපාතී එකක්වන අතර ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම හා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම, ආධාරදීම, අනුබලදීම හා තැත්කිරීම යන වැරදි සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකරනු ඇත. විමර්ශන ඒකකයේ පත්වීම් ක්‍රීඩා ඇමැතිවරයා විසින් සිදුකරන අතර යම් සාමාජිකයකුගේ ධුර කාලය අවුරුදු තුනක් විය යුතු බව 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ සඳහන්ව තිබේ.

කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව නිමාවට පත්වූ දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී අක්‍රමිකතතා සිදුවූවේ යැයි චෝදනා එල්ලවී තිබූ වූෂූ, බාස්කට්බෝල් හා පාපැදි ක්‍රීඩා සම්බන්ධ පැමිණිලි 3ක් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා වෙත හා නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්. එම්. ජේ. සමරණායක මහතා වෙත ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා විසින් භාරදෙන ලදී.

අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවැසූවේ මේ විමර්ශන ඒකකය ඉතාම ස්වාධීනව පවත්වාගෙන යෑමට අවශ්‍ය සහයෝගය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදෙන බවයි. “වරදක් සම්බන්ධ පැමිණිල්ලක් ලැබුණු වහාම එයට අංකයක් ලබාදී රිසිට් පතක් නිකුත් කෙරෙනවා. පැමිණිලි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ට, අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට හෝ විමර්ශන ඒකකයට කෙලින්ම භාර දෙන්න පුලුවන්. මේ ඒකකයට කිසිදු බලපෑමක් කරන්න කිසිවෙකුටවත් නොහැකියි” රුවන්චන්ද්‍ර මහතා පැවැසීය.

චොදනාවක් විමර්ශනය වෙද්දී එයට බලපෑම් කිරීමට ඇමැතිවරයාට හෝ ලේකම්වරයාට හෝ වෙනත් උසස් නිලධාරියකුට හැකියාවක් නොමැති බව විමර්ශන ඒකකය භාර අධ්‍යක්ෂ ජගත් ෆොන්සේකා මහතා පැවැසීය. “අප වැරදි හොය හොයා දඬුවම් කිරීමට කල්පනා කරන්නේ නෑ. අපට අවශ්‍ය මේ ඒකකයේ ක්‍රියාකාරීත්වය තුලින් වැරදි සිදු නොවන වට පිටාවක් නිර්මාණය කරන්නයි. චොදනා ලත් අයෙක් වෙන රටක සිටියත් උදර්පන නීතිය අනුව පරීක්ෂණයේ සහයෝගයට ගෙන්වා ගැනීමේ හැකියාව පනතේ සඳහන්. අවශ්‍ය නම් ගිණුම් වාර්තා ආදායම් වියදම් සොයා බලන්නත් පුලුවන්. අප මේ සියල්ලේ රහස්‍යභාවය සුරකින්න බැදී සිටිනවා” ෆොන්සේකා මහතා පැවැසීය.

ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට ඉතා ඉක්මණින් මෙය විවෘත කිරීමේ අවශ්‍යතාවක් තිබුණද ඊයේ දිනයේ හදිසි තත්ත්වයක් තුළ පැමිණීමට නොහැකි වූ බව ඇමැති පෞද්ගලික ලේකම් නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා පැවැසීය. ජනාධිපතිතුමාගේ නව සංකල්ප යටතේ රට ගොඩනැගෙමින් පවතිද්දී මෙවැනි ඒකක බිහිකිරීම කඩිනම් අවශ්‍යතාවක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

පනත කෙටුම්පත් කිරීමට සහයවූ නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා මේ අවස්ථාවට විශේෂ ආරාධනාවකින් පැමිණ සිටි අතර හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සංකල්පයක් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා යථාර්තයක් කළ බව පැවැසීය. “මේක ක්‍රිකට්වලට පමණක් අදාළ නෑ. රටේ සියලුම ක්‍රීඩා වලට අදාලයි. දේශ සීමාව තුළ හා ජාත්‍යන්තරව සිදුවන වැරදි සම්බන්ධව මෙයින් ක්‍රියාත්මකවිය හැකියි” කීර්තිනන්ද මහතා පැවැසීය.

විමර්ශන ඒකකය භාර අධ්‍යක්ෂ ජගත් ෆොන්සේකා මහතා මෙයට පෙර ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ හා රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කළ අතර කටුනායක අපරාධ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කළේය. ඒ මහතා එහි සේවය කරද්දී කෙටි කලක් තුල නීති විරෝධී සංක්‍රමණිකයින් 3000ක් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇති අතර ඒ වෙනුවෙන් නෙදර්ලන්ත රාජකීය පොලීසියේ විශේෂ පුහුණු අවස්ථාවක්ද හිමිකරගෙන තිබේ.

දිනමිණ -ප්‍රින්ස් ගුණසේකර

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.