නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 10 ක දරුණු පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හි සොෆියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ලකුණු 137 ක ඉලක්කය හඹා යාමට පිවිසි මාටින් ගප්ටිල් ( නොදැවී 73 ) සහ කෝලින් මන්රෝ ( නොදැවී 58 ) රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. මාටින් ගප්ටිල් පන්දු 51කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 73 ක් රැස්කළ අතර ඔහු හා අනෙත් අන්තයේ රැදී සිටි කෝලින් මන්රෝ පන්දු 47 කදී හයේ පහරක් සහ  හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 58 ක් රැස් කළේය. 

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29.2 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 136 ක් පමණි.

නායක දිමුත් කරුණාරත්න සමගින් ඉනිම ඇරඹූ ළහිරු තිරිමාන්නට පන්දුවාරයක්වත් පිටියේ රැදී සිටිමට අවස්ථාව ලබා නොදුන් මැට් හෙන්රි ලකුණු 4 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. ඉන් අනතුරැව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා දිමුත් කරැණාරත්න සමගින් එක්ව ලකුණු 42 ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුවත් මැට් හෙන්රිගේ පන්දුවක් හමුවේ කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්ගේ අතට උඩ පන්දුවක් ලබා දීම නිසා සිය ඉනිම ලකුණු 29 කට සීමා විය. සිව්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට එකදු ලකුණක්වත් රැස් කිරීමට අවස්ථාව ලබා නොදුන් මැට් හෙන්රි සිය තෙවැනි කඩුල්ලද දවා ගත්තේය. ඇන්ජලෝ මැතිවුස්, ධනංජය ද සිල්වා, ජීවන් මෙන්ඩිස් හා ඉසුරු උදාන ද ලකුණු අතරට නොපැමිණිම නිසා තරගයේ වැඩි වාසිය නවසීලන්තය සතුවිය.  ආරම්භයේ සිටම කඩුල්ලේ රැදී සිටි නායක දිමුත් කරුණාරත්න පන්දු 84 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ එකම ලකුණු ලාභියා බවට පත්විය.ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඉනිම ආරම්භ කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි දෙවැනි පිතිකරුවා ලෙස දිමුත් වාර්තා අතරට එක් විය. මින් පෙර එවන් වාර්තාවකට හිමිකම් කියා තිබූ එකම පිතිකරුවා වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රිච්ඞ්ලි ජේකබ්ස්ය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලොකී ෆර්ගසන් ලකුණු 22 කට කඩුලු 3 ක් සහ මැට් මෙන්රි ලකුණු 29 කට කඩුලු 3 බැගින් බිද හෙළමින් නවසීලන්තයේ ජයග්‍රහනයට පාර කපා දුන්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 29.2 කදී සියලු දෙනා දැවී ලකුණු 136

( දිමුත් කරුණාරත්න නොදැවී 52, කුසල් පෙරේරා 29, තිසර පෙරේරා 27, ලොකී ෆර්ගසන් 22/3, මැට් මෙන්රි 29/3 )

නවසීලන්ත කණ්ඩායම – පන්දුවාර 16.1 කදී කිසිවෙකු නොදැවී ලකුණු 137

( මාටින් ගප්ටිල් නොදැවී 73, කෝලින් මන්රෝ නොදැවී 58 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.