ඉන්දීය සිහින බොඳ කළ නවසීලන්තය, අවසන් මහ තරගයට !

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව වටයේ  තරගයෙන් ලකුණු .18 ක තියුණු ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට අද (03 සමත් විය.

මෙම ජයත් සමගම නවසීලන්ත කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 221ක් පමණි.

ඉන්දීය ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු 5ක් තුළ නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ මැට් හෙන්රි සහ ට්‍රෙන්ට් බෝල්ට් සම්පූර්ණයෙන්ම තරගය කනපිට හරවමින් නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබා දුන්හ. ඉන් නොනැවතුණු නවසීලන්ත පන්දු යවන්නන් ඉන්දීය ඉනිමේ කඩුලු 6ක් ලකුණු 92ක් තුළදී බිද හෙලීමට සමත් විය.

7වන කඩුල්ල සඳහා එක් වූ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 116ක සාර්ථක සබඳතාවයක් ගොඩ නගමින් ඉන්දීය කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ගෙන දුන්නද ලකුණු 77ක් ලබා සිටි රවින්ද්‍ර ජඩේජා ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ  දැවී යාමත් සමග ඉන්දීය කණ්ඩායමේ සියලු ප්‍රයත්නයන් අසාර්ථක විය.

මහේන්ද්‍ර සිං දෝනිගේ ඉනිම ද ලකුණු 50කට සීමා වීමත් සමග ඉන්දීය කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවද මැකී ගියේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි ලකුණු 37කට කඩුලු 3ක් බිද හෙලීය. ඔහුට අනගි සහයක් ලබාදුන් ට්‍රෙන්ට් බෝල්ට් සහ මිචෙල් සැන්ටර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ඊයේ ආරම්භ වූ මෙම තරගයේ නවසීලන්ත ඉනිමේ නිමාව ආසන්න වෙද්දී වර්ෂාව ඇදහැලීම නිසා ඉන්දියානුවන් සතු ග්‍රහණය ගිළිහී ගියේය. වර්ෂාව හේතුවෙන් ඕවර 46.1 ක් තිබියදී තරගය නතර කරන විට නවසීලන්ත ඉනිම ලකුණු 211 කට සීමාවී තිබිණ. එහෙත් අද පෙරවරුවේදී නැවත තරගය ආරම්භ වූ තැන සිට ඉතිරි පන්දු 23 දී ලකුණු 28 ක් ලබාගත් නවසීලන්ත පිලට තිබූ ඉහළම වාසිය වූයේ ඒ වන විට පැවැති වාතාවරණයයි.ඒ අනුව නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 239ක් රැස් කළේය.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රොස් ටේලර් පන්දු 130 කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් නායක කේන් විලියම්සන් ලකුණු 67ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 43කට කඩුලු 3ක් බිද හෙලීය.

සත්කාරක එංගලන්ත කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය හෙට ( 11 ) පැවැත් වීමට නියමිතයි.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය එළඹෙන 14 වැනිදා ( ඉරිදා )  පැවැත් වීමට නියමිතයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.