සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය හෙට ( 26 ) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ලෝක ක්‍රිකට් වංශ කතාවේ පරිච්ඡේද ගණනාවක තම නාමය සටහන් කළ “ යෝකර් රජු හෙවත් ලසිත් මාලිංග හෙට පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට නියමිතය.
මුහුණට මුහුණ
ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් ඉතිහාසය මීට වසර 33ක සිට පැවැත එන්නකි. බංග්ලාදේශයට එරෙහිව පළමු ජාත්‍යන්තර එක්දින තරගය 1986 වසරේ පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමි විය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට එක්දින තරග 45ක් පවත්වා ඇති අතර ඉන් තරග 36ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දී, බංග්ලදේශය ජය ගෙන ඇත්තේ තරග 7ක් පමණි. තරග 2ක් විසදුමකින් තොරව නිමාවට පත්ව තිබේ.
කණ්ඩායම් දෙක අවසන් වරට හමු වීම
එංගලන්තයේදී නිමාවට පත්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා පැමැණීමත් සමග එම තරගය අතහැර දැමීමට සිදුවිය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවසන් වරට එක්දින තරගයකදී එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2018 වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදීය . එහිදී ශ්‍රී ලංකාවට ලකුණු 137ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවිය.
අවසන් එක්දින තරග 5
ශ්‍රී ලංකාව – පරාජ, ජය, පරාජ, ජය, පරාජ
බංග්ලාද්ශය – පරාජ, පරාජ, ජය, පරාජ, ජය
කණ්ඩායම් දෙකෙහි ප්‍රබල තුරුම්පු
කුසල් ජනිත් පෙරේරා
නිමාවට පත්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලකිල්ලට ගනිද්දී, ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූයේ කුසල් ජනිත් පෙරේරායි. ඔහු එහිදී තරග 7කදී අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 273ක් රැස් කිරීමට සමත් විය. ඔහු මේ වනවිට ජාත්‍යන්තර එක්දින තරග 95ක දී ලකුණු 2556ක් ලබාගෙන ඇත්තේ 30.07ක් වැනි මට්ටමක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
තමීම් ඉක්බාල්
බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායකයා වූ මෂ්රෆී මොටාසා ආබාධයට ලක්වීමත් සමග කණ්ඩායම වැඩ බලන නායකයා ලෙස තමීම් ඉක්බාල් පත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගත්තේය. ඒ අනුව මෙවර එක්දින තරගාවලියේ යම් වෙනසක් සිදුකළ හැකි ප්‍රහාරාත්මක පිතික රුවෙකු ලෙස තමීම් ඉක්බාල් හදුන්වාදීමට හැකිය. ජාත්‍යන්තර එක්දින තරග 201ක් තුළ ඔහු විසින් ලකුණු 6871ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 35.99ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. ඉක්බාල් එක්දින ශතක 11ක් සහ අර්ධ ශතක 47ක් එහිදී ලබාගෙන ඇත. ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 21ක දී ලකුණු 645ක් ලබා ගැනීමට සමත්ව ඇත්තේ ශතක දෙකක් හා අර්ධ ශතක 4ක්ද සමගිනි.
ලසිත් මාලිංග
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ප්‍රධාන පන්දු යවන්නේකු ලෙස වසර 15 ක දිගු සේවා කාලයක් අවසන් කරමින් ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර අවසන් එක්දින තරගය හෙට ක්‍රීඩා කිරීමට නියමිතය. තමන්ගේ ප්‍රධාන අවිය බවට පත්වූ යෝකර් පන්දුව උපයෝගී කරගනිමින් ක්‍රිකට් පිටියේ ප්‍රබලයන් දණ ගැස්වූ ඔහු, එක්දින තරග 225ක දී කඩුලු 335ක් දවා ගැනීමට සමත්ව ඇත. ඔහු බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව එක්දින 14කදී කඩුලු 24ක් දවාගෙන ඇත.
මුස්ටෆිසුර් රහමාන්
බංග්ලාදේශ වේගපන්දු බල ඇණිය සවිමත් කරන මුස්ටෆිසුර් රහමාන් එක්දින තරග 54ක දී කඩුලු 103ක් දවා ගැනීමට සමත් වී ඇති අතර එය කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.65ක් ලෙස දැක්වේ. මුස්ටෆිසුර් රහමාන් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.17ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 7ක දී කඩුලු 11ක් රහමාන් විසින් දවාගෙන ඇත.
ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තත්ත්වය
මෙවර ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලියේ තරග 3ම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 128න් තරග තරග 68කම ජයහිමිව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. කාළගුණය දෙස අවධානය යොමු කිරීමේදී හෙට දිනයේ දහවල් සහ හවස් කාලයේ වර්ෂාව පතිත වියහැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙතෙක් එක්දින තරගයක් පවත්වා නැහැ. ශ්‍රී ලංකාව කාසියේ වාසිය ජයගතහොත් පළමුවෙන් පන්දුවට පහරදීම වඩාත් යෝග්‍ය වනු ඇත.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින සංචිතය
ශ්‍රී ලංකා එක්දින සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ශෙශාන් ජයසූරිය, ධනංජය ද සිල්වා, අකිල දනංජය, වනිඳු හසරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග (පළමු එක්දින ක්‍රිකට් තරගයට), දසුන් ශානක (දෙවන හා තෙවන එක්දින ක්‍රිකට් තරගයට)
බංග්ලාදේශ එක්දින සංචිතය – තමිම් ඉක්බාල් (නායක), මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා රියාද්, මොසදික් හුසේන්, රුබෙල් හුසේන්, මස්ටෆිසුර් රෙහ්මාන්, මෙහෙදි හසන් මිරාස්, එනමුල් හක්, ටයිජුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, ෆර්හාඩ් රීසා
තරග කාල සටහන
පළමු එක්දින තරගය – 26 වැනිදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ( දිවා/ රාත්‍රී )
දෙවැනි එක්දින තරගය – 28 වැනිදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ( දිවා/ රාත්‍රී )
තෙවැනි එක්දින තරගය – 31 වැනිදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ( දිවා/ රාත්‍රී )
Be the first to comment