ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය සාලියපුරදි

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 18 වැනි වරටත් සංවිධානය කරන  ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය  සැප්තැම්බර් මස 1 වැනිදා සාලියපුර , ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සුපර්ක්‍රෝස් ධාවන පථයේදී පැවත්වීමට නියමිතය.

ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති ඛෙදු‍ම්වාදි ත්‍රස්තවාදයේ මුලාරම්භයත් සමග රටේ ආරක‍ෂාව සහ ජාතික ආරක‍්ෂාවට එරෙහිව ඇතිවිය හැකි අණතුරුදායක තත්ත්වය පිළිබඳව සළකා බලා 1980 ජනවාරි මස 15 වන දින ශ්‍රි ලංකා යුද හමුදාවේ පාබළ බළඇණියක් ලෙස 1 වන රජරට රයිෆල්ස් බළඇණිය ස්ථාපනය කරන ලදි. එහි පළමු අණදෙන නිළධාරි ලෙස ලූතිතන් කර්නල් ඩබ් කේ නානායක්කාර පත් විය. එවකට යුද හමුදාවට අයත්, සියලූම රෙජිමේන්තුවලින් නිලධාරින් සහ සෙසුනිළයින් කැඳවා පිහිටවනු ලැබු මෙම නව බළඇණිය අනුරාධපුර ගුවන් තොටුපලට යාබදව පිහිටි උතුරු මැද ප්‍රදේශ මුලස්ථානය තුළ තාවකාලිකව ස්ථානගත කරන ලදි.

එසේ පිහිටවන ලද 1 වන රජරට රයිෆල්ස් බළඇණිය සඳහා ස්ථීර කඳවුරක අවශ්‍යතාවය ඇති වු අතර, ඒ සඳහා ශ්‍රි ලංකාවේ ඉපැරණි ඉතිහාසයක් ඇති, පැරණි හෙළ රජ දරුවන් රාජධානිය කොටගත් අනුරාධපුර ආශ්‍රිත ග්‍රාමයක භූමි භාගයක් තෝරා ගැනීමට තීරණය විය. ඒ අනුව, අනුරාධපුර ආශ්‍රිතව පිහිටි “සාලියපුර” ග්‍රාමයේ කැළැබද ප්‍රදේශයක්ව පැවති රජයට අයත් අක්කර 100 කින් යුත් භූමි භාගයක 1 වන රජරට රයිෆල්ස් බළඇණියේ මුලස්ථානය පිහිටුවීමට සැළසුම් කොට, 1980 වසර මුල් භාගයේදිම කඳවුර ඉදිකිරිම ආරම්භ කරනු ලැබීය.

මේ කාලවකවානුව වන විට ශ්‍රී ලංකා යුද හමුදාවට මිට පෙර නොවු විරු අන්දමට ත්‍රස්තවාදින් මැඩලිමේ රාජකාරින්හි නිරත විමට සිදු විය. මේ නිසා උපරිම පිරිස් බලය යොදා ක්‍රියාන්විත රාජකාරින්වල යෙදවීමේ අවශ්‍යතාවය ඇති වුයෙන් යුද හමුදා මුලස්ථානය විසින් ගන්නා ලද තිරණයකට අනුව 1 වන රජරට රයිෆල්ස් බළඇණිය හා 1 වන විජයබාහු පාබළ රෙජිමේන්තුව එක්කර “නව පාබළ ඒකකය” නමින් පිරිස් බලයක් සහිත නව ඒකකයක් ස්ථාපනය කරන ලදි.

මෙම ඒකකය රජරට පුරාණ රජවරුන්ගේ රාජධානියෙහි පිහිටා ඇති බැවින්, මෙම නව පාබළ ඒකකයට සුදුසු නාමයක් ලබා දීමේදී එය කිර්තිමත් රණශූර නරපතියෙකුගේ නමින් නම් කරනු ලැබුවේ එමගින් මෙම ඒකකයෙහි සෙබළුන් හට ජයග්‍රහණය කරා එළඹීමට අවශ්‍ය ශක්තිය හා චිත්ත ධෛර්යය ලැබිය හැකි වන ලෙසටය. මෙම ඒකකයට යුද ශිල්පයේ නිපුන රණශුරයෙකු වු “ඇතෙකුට සමාන ශක්තිමත් හස්තයක් ඇති” යන තේරුම සහිත නාමයක් ඇති ලක් ඉතිහාසයේ රණශූරත්වයෙන් කෙළ පැමිණි රජෙකු වු 1 වන ගජබාහු නරේන්ද්‍රයාණන්ගේ නාමයෙන් “ගජබා” නමින් නම්කොට, 1 වන බළඇණීය ගජබා රෙජිමේන්තුව 1983 ඔක්තෝබර් මස 14 වන දින ශ්‍රි ලංකා යුද හමුදා පෙළපතට පතාක යෝධයෙකු ලෙසින් එක්වීම ගජබා වංශ කථාවෙහි සුවිශේෂි සංධිස්ථානයකි. මෙහි ප්‍රථම අණදෙන නිළධාරි වශයෙන් ලූතිතන් කර්නල් ඩබි අයි වි කේ එම් විමලරත්න පිඑස්සී පත් වී ඉතිහාසයට එක් විය.

ශ්‍රී ලාංකීය යුධ ඉතිහාසයේ දක්ෂ අණදෙන නිලධාරින්ගේ අණදීම යටතේ කුරිරු ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා වන්නි සටන් බිමේ පෙරමුණ ගෙන ක්‍රියකල කීර්තිමත් ‍රෙජිමේන්තුවක් ලෙස ගජබා රෙජිමේන්තුව හැඳින්විය හැක. යුධ සමය නිමාවීමෙන් පසුවද මෙම ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරින් සහ භටපිරිස් රටේ සාමය ආරක්ෂා කිරිම සඳහා මෙන්ම රටේ සංවර්ධන කටයුතු සඳහාත් මහත් දායකත්වයක් දක්වමින් ක්‍රියා කරනු ලබයි. වර්ථමානයේදී මෙම රෙජිමේන්තුව නිත්‍ය බළඇණි 15 කින්, ස්වේච්ඡා බළඇණී 08 කින් හා එක් රෙජිමේන්තු මුලස්ථාන බළඇණියෙන්ද සමන්විත වේ.

ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ ආරම්භය හා එහි විකාශය

ගජබා රෙජිමේන්තුවේ අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් ගාමිණි ගුණසේකර ආර් එස් පී යූ එස් පී  පී එස් පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීනගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ පළමු වරට මෝටර් රථ ධාවන පථයක් 1992දී නිර්මාණය කිරීමට අදහස් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස දියතලාව නරියා කන්ද ප්‍රෙද්ශයේදී එවකට ස්ලාඩාහි හිටපු සභාපති හෑන්ස් රුල්ෆ් මහතා විසින් පළමු වරට මෝටර් රථ ධාවන පථයක් නිර්මාණය කරනු ලැබීය. ඉන් පසුව මේජර් ජෙනරල් ගාමිණි ගුණසේකරගේ සහ වත්මන් ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමන් වන ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ විශ්‍රාමික චාගී ගාල්ලගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය 1999 වර්ෂයේදී රෙජිමේන්තු මධ්‍යස්ථාන සුපර්ක්‍රොස් ධාවන පථයේදී ආරම්භ කරනු ලැබීය. 1999 වර්ෂයේ සිට අඛණ්ඩව 2007 වර්ෂය දක්වා පැවැති මෙම තරගාවලියට යුදමය තත්ත්වය හේතුවෙන් වසර කිහිපයක් පැවැත්වීමට හැකියාව නොලැබිණ. නමුත් 30 වසරක යුද්ධය නිමා කිරීමත් සමග 2010 වසරේ සිට නැවතත් සෑම වර්ෂයකම මෙම තරගාවලිය පැවැත්වීමට ගජබා රෙජිමේන්තුව කටයුතු කළේය.

කැපී පෙනෙන දස්කම් දක්වමින් ඉකුත් වසරේ (2018) පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ඉෂාන් දසනායකද සමත් වූහ.

මෙවර තරගාවලියේ සහභාගීත්වය සහ විශේෂත්වය

මෙවර තරගාවලිය සඳහා  තරගකරුවන් 200කට අධික සංථ්‍යාවක් සිය සහභාගීත්වය සහතික කර ඇති අතර වයස අවුරුදු 10, 13 සහ 16 යන වයස් කාණ්ඩයන් සඳහා වෙන් වූ යතුරුපැදි ධාවන ඉසව් 03ක්ද මෝටර් රථ ඉසව් 13කින් හා යතුරුපැදි ධාවන ඉසව් 11 කින් සමන්විත වේ.

මෙම තරගාවලියේ දී ලබන ආදායම පිළිබඳව මේජර් ජෙනරාල් එන්. ඒ. ධර්මරත්න මහතා තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩ සටහනට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළේය.

“ විශේෂයෙන්ම මතක් කරන්න ඕන මෙවර තරගාවලියට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් අපි යොදවලා තියෙනවා. ඒ වගේම තමයි මේ තරගාවලියෙන් ලබා ගන්නා අරමුදල් වලින් යුද්ධයේදී දිවි පිදු හා තුවාල වූවන්ගේ පවුල් සඳහා යොදවන්න අපි බලාපොරොත්තු වනවා “

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය “Air Voice” ආයතනය විසින් දරන අතර සම අනුග්‍රහකයන් වශයෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගම, හච් ටෙලිකොම් පුද්ගලික සමාගම, ලංකා .හොස්පිටල් සමාගම ඇතුළුව තවත් අනුග්‍රාහකයන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.