ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ පාදයේ ඉහළ කොටසේ මස්පිඬු ඇදීමක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට ඊයේ සිදු වූ අතර ඒ හේතුවෙන් සිය දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසීමේ අවස්ථාව දිමුත්ට අහිමි වනු ඇත.
මේ වනවිට පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අතරවාරයේ දිමුත් කරැණාරත්න ආබාධයට ලක්විය. මේ හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට දිමුත් කරුණෘරත්න පන්දු රැකීමේ කාර්යයෙන් ඉවත්ව සිටි අතර, ඒ අනුව සිව්වන දිනයේදී ද පන්දු රැකීමේ කාර්යය සඳහා ක්‍රීඩා පිටිය වෙත වාර්තා නොකළේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වන අසන්ත ද මෙල් මහතා ESPNCricinfo වෙබ් අඩවියට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ, දිමුත් කරුණාරත්නගේ පාදයේ ඉහළ කොටසේ මාංශ පේශි ඇදීමක් හේතුවෙන් ඔහු පිටියේ පන්දු රැකීමෙන් ඉවත් වූ බවයි. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති වලට ඔහු සුව අතට පත් වුවද මෙම තරගයේ දෙවැනි ඉනිමේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසිමෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇත. ඒ අනුව ඔහු ක්‍රීඩා කරන්නේ නම්, අංක 7 පිතිකරුවාගෙන් පසු ක්‍රීඩා පිටිය වෙත පැමිණිමට අවස්ථාව තිබේ.
සාමන්‍යයෙන් දිමුත් කරුණාරත්න පළමු ඉනිමට වඩා දෙවැනි ඉනිමේදී හොඳින් ලකුණු අතරට පිවිසෙන පිතිකරුවෙක් බව පසුගිය වසර කිහිපය තුළදීම ඔප්පු කරමින් සිටියේය. මේ තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමේදී විශාල පාඩුවක් විය හැකි බව ක්‍රිකට් විචාරකයන් මත පළ කරමින් සිටිති.
ඒ අනුව දිමුත් කරුණාරත්නගෙන් හිස්වන ආරම්භක පිතිකරුගේ ස්ථානය සඳහා කුසල් මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී ලහිරු තිරිමාන්න සමගින් ඉනිම ඇරඹීමට නියමිත බව වාර්තා වේ.
මීට අමතරව ඊයේ දිනයේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද ඇගිල්ලේ සිදු වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ අනුව කඩුලු රකින්නාගේ කාර්යය දිනේෂ් චන්දිමාල් වෙත පැවරී ඇත.
Be the first to comment