ලෝක කුසලාන රග්බි – උත්සාහක දිනුම් 6ක් සමග වේල්සය පළමු ජය ලබයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජෝර්ජියාවට එරෙහිව  උත්සාහක දිනුම් 6ක් සමගින් ලකුණු 43 – 14 ක විශිෂ්ඨ ජයක් ලැබූ වේල්සය සිය පළමු තරගයම ජය ගැනීමට සමත් වූයේ අමතර ප්‍රසාද ලකුණකුත් සිය ගිණුමට එක්කර ගනිමිනි.  “ ඩී “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය ජපානයේ කුමගයා රග්බි ක්‍රීඩාංගනයේදී අද ( 23 ) පැවැත්විණි.

පළමු අර්ධය ලකුණු 29 – 0 කින් පෙරමුණගත් වේල්සය තරගය ආරම්භයේදීම ජෝර්ජියාවේ ජයග්‍රාහී ගමනට හරස් විය. තරගයේ දෙවැනි මිනිත්තුවේදීම ලකුණු ලබා ගැනීම ඇරඹූ වේල්සයේ ජෝනතන් ඩෙවිස් පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය. ඉන් නොනැවතුණු ජස්ටික් ටිපියුරික් 12 වැනි මිනිත්තුවේදී වේල්සය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් විය. ජෝර්ජියාවේ ඉදිරි ආරක්ෂක වළල්ල කිසිසේත් මායිම් නොකළ, ජෝෂ් ඇඩම්ස් ද 18 වැනි මිනිත්තුවේදී වේල්සය වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුමද වාර්තා කිරීමට සමත් වූයේ ලකුණු 22 – 0 කින් පෙරමුණ ගනිමිනි. කණ්ඩායමට අමතර ප්‍රසාද ලකුණ ද එක්කරමින් සිව්වැනි උත්සාහක දිනුමත් වාර්තා කළ වේල්සයේ ලියාම් විලියම්ස් පළමු අර්ධය ලකුණු 29 – 0 කින් නිමා කිරීමට සමත් විය.

තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 2ක් යාමට මත්තෙන් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ජෝර්ජියාවේ ශල්වා මමුකෂ්විලි සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්ථන අවස්ථාව ද සාර්ථක කරගත් ටෙඩෝ ඇබ්සන්ඩේස් ජෝර්ජියාවට යම් සහනයක්  ගෙන දුන්නේය. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 29 – 7 ක් ලෙස සටහන් විය.

වේල්සයේ ජයග්‍රාහී මාවතට තවත් ලකුණු 7ක් එක්කළ තෝමස් විලියම්ස් සහ ඩෑන් බිගර් එහි උත්සාහක දිනුම සහ ප්‍රවර්ථනය පිළිවෙලින් සාර්ථක කර ගැනීමට සමත් වූහ. තරගය නිමා වීමට තවත් මිනිත්තු 12ක පමණ කාලයක් ඉතිරියව තිබියදී ජෝර්ජියාව වෙනුවෙන් යලිත් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ලෙවන් චිලකාවා එහි උත්සාහ දිනුමත්, ටෙඩෝ ඇබ්සන්ඩේස් ප්‍රවර්ථනයත් සාර්ථක කර ගනිමින් ජෝර්ජියා  ලකුණු පුවරුව තවත් ලකුණු 7ක් එක් කිරීමට සමත් වූහ.

තරගයේ ජයග්‍රහණය පෙනී පෙනී තිබියදීත් වේල්සය වෙනුවෙන් 6 වැනි උත්සාහක දිනුමත් වාර්තා කළ ජෝර්ජ් නෝර්ත් වේල්සයේ ලකුණු පුවරුව ලකුණු 41ක් දක්වා ඉහළට ඔසවා තැබුවේය. එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් තවත් ලකුණු 2ක් කණ්ඩායමට එක් කිරීමට ලීග් හාෆ්පෙනී සමත් වූයේ මෙවර තරගාවලියේ සෙසු කණ්ඩායම් වලට ද අභියෝගයක් වන බව පෙර ඉඟි ලබා දෙමිනි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.