ලෝක කුසලාන රග්බි තරගාවලියේ ෆීජී රාජ්‍යට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 30 – 27 ක ජයක් ලැබූ උරුගුවේ කණ්ඩායාම 2003 වසරින් පසු ලෝක කුසලාන තරගාවලියක ලැබූ පළමු ජයග්‍රහණය ලැබීමට අද ( 25 ) සමත් විය. ‘ ඩී ‘ කාණ්ඩයේ තරගයක් වූ මෙය ජපානයේ ෆුකුඕකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දෙරට අතර අද තරගය ආරම්භ වීමට පෙර ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව උරුගුවේ කණ්ඩායම 19 වැනි ස්ථානයේත්, ෆීජී රාජ්‍ය 10 වැනි ස්ථානයේත් පසුවිය.තරගය ආරම්භයට පෙරම බොහෝ විචාරකයන්ගේ මතය වූයේ අද තරගයේ වැඩි වාසිය ෆීජී රාජ්‍ය සතුවන බවයි. නමුත් එකී සියලු බලාපොරොත්තු විනාඩි 80ක් තුල සුනු විසුළු කළ උරුගුවේ කණ්ඩායම තමන් සහභාගී වූ පළමු තරගය උත්සාහක දිනුම් 3ක් සමගින් ජය ගැනීමට සමත් වූයේ තවත් පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින්ය. ඒ අනුව ශ්‍රේණිගත කිරීම් අනුව උරුගුවේ කණ්ඩායම 17 වැනි ස්ථානය දක්වා ස්ථින දෙකක් ඉදිරියට පැමිණෙද්දී, ෆීජී රාජ්‍ය පියවර දෙකක් පසුපසට ගොසින් තරගය නිමා කිරීමට සිදුවිය. ඒ අනු ෆීජී රාජ්‍ය නවතම වර්ගීකරණය අනුව හිමිව ඇත්තේ 12 වැනි ස්ථානයයි.
තරගයේ පළමු අර්ධය ලකුණු 24 – 12 කින් පෙරමුණ ගැනීමට උරුගුවේ කණ්ඩාය සමත් වූයේ තියුණු සටනකින් පසුවය. තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ෆීජී රාජ්‍ය යේ මෙසිලමේ ඩොලොකොටො තරගයේ 7 වැනි මිනිත්තුවේදී පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය.
තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා වී මිනිත්තු 6ක් යාමට මත්තෙන්, එනම් තරගයේ 13 වැනි මිනිත්තුවේදී උරුගුවේ කණ්ඩායම වෙනුවෙන් සැන්ටියාගෝ අරාටා පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්රවර්ථන අවස්ථාව ද සාර්ථක කරගත් ෆෙලිස් බර්චෙසි ලකුණු 7 – 5 කින් උරුගුවේ කණ්ඩායම පෙරමුණේ තැබීය.
ෆීජී රාජ්‍ය යේ එරොනි මාවී,18 වැනි මිනිත්තුවේදී තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් උරුගුවේ සතුව තිබූ වාසිය උදුරා ගැනීමට සමත් වූයේ ලකුණු 12 – 7ක් ලෙස පෙරමුණ ගනිමිනි.
පළමු අර්ධය තුළදී උරුගුවේ වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ, මැනුවෙල් ඩියානා සහ ජුවාන් මැනුවෙල් කැට් පිළිවෙලින් 21 වැනි සහ 25 වැනි මිනිතුවේදී සාර්ථක උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කිරීමට සමත් වූයේ උරුගුවේ කණ්ඩායමට ජයග්‍රහණය පිළිබද බලාපොරොත්තුවක් ගෙන දෙමිනි. එහි ප්‍රවර්ථනයන් දෙකද සාර්තක කරගත් ෆෙලිස් බර්චෙසි , ලකුණු පුවරුව ලකුණු 21 – 12 ක් බවට පත් කළේය.
දෙවැනි අර්ධයේදී ෆීජී රාජ්‍ය තරගයට අවතීර්ණ වෙමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළද, ඔවුන්ට ලකුණු වැඩිකර ගැනීමට තිබූ අවස්ථාවන් තුනක්ම මගහැරී ගියේ සිය ප්රවර්ථන අවස්ථාවන් සාර්ථක අයුරින් භාවිතා කිරීමට නොහැකි වූ බැවිනි. එය තරගයේ පරාජයට ප්‍රධාන හේතුවක් වූයේ උරුගුවේ මෙම තරගය ලකුණු 3ක තියුණු ජයක් ලැබීමත් සමගය. එම ප්‍රවර්ථනයන් 3ම සාර්ථක කර ගැනීමට ෆීජී රාජ්‍යට හැකියාව ලැබුණේ නම්, තරගයට මීට වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගැනීමට ඉඩ තිබිණ.
තරගයේ දෙවැනි අර්ධයේදී උරුගුවේ කණ්ඩායමට කිසිදු උත්සාහ දිනුමක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමු නොවුනද, තරගයේ 60 වැනි සහ 75 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර ද්විත්වයම සාර්තක කර ගැනීමට ෆෙලිස් බර්චෙසි සමත් වූයේ අවශ්‍ය මොහොතේ කණ්ඩායමට අමතර ලකුණු 6ක් එක් කරමිනි.
ෆීජී රාජ්‍ය යේ නිකෝලා මටවාලු තරගයේ 66 වැනි සහ 81 වැනි මිනිත්තුවේදී උත්සාහ දිනුම් ද්විත්වයක්ම වාර්තා කරමින් ෆීජී රාජ්‍යට ජයග්‍රහණය පිළිබද බලාපොරොත්තුවක් ඇති කළද, ඒ වනවිටත් ජයග්‍රහණයේ වැඩි වාසිය උරුගුවේ වෙත නතුවී අවසන්ය. ඒ අනුව ෆීජී රාජ්‍ය මෙතෙක් සහභාගී වූ තරග දෙකම පරාජයට පත්ව ඇති හෙයින් තරගාවලිය පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කිරීමට සිදුව තිබේ.
Be the first to comment