පළමු තරගය ජය පැරදුමෙන් තොරව නිමවෙයි – කමිදු සහ සංගීත් ශතක රැස් කරති

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 01 ) නිමාවට පත්විය.

කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඒ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 360ක් රැස් කිරීමට සමත් විය.

බංග්ලාදේශය වෙනුවෙන් මොහොමඩ් මිතුම් ( 92 ), ජහරුල් ඉස්ලාම් ( 90 ), මෙහෙදි හසන් මිරාස් ( 57 ) සහ ෂඩ්මාන් ඉස්ලාම් ( 53 ) අර්ධ ශතක රැස් කරමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළහ.

පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 57කට කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු ලකුණු 59කට කඩුලු 3 බැගින් බිද හෙලූහ.

බංග්ලාදේශ පළමු ඉනිමට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 450 ක් රැස් කිරිමට සමත් විය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළ, කමිදු මෙන්ඩිස් පන්දු 282කදී හතරේ පහර 19ක් සමගින් ලකුණු 169ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සංගීත් කුරේ පන්දු 151කදී හතරේ පහර 15ක් සමගින් ලකුණු 104ක් රැස් කිරීමට සමත් විය.

6 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි අර්ධ ශතකයක් රැස්කළ ප්‍රියමාල් පෙරේරා පන්දු 75කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 65ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 450න් එපිටත ගෙන යාමට දායකත්වය සපයා දෙමිනි.

පන්දු යැවීමේදී මෙහිදි හසන් මිරාස් ලකුණු 150කට කඩුලු 5ක් සහ මොහොමඩ් මිතුම් ලකුණු 34කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී එක් ලකුණක් ලබාසිටියේය.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බංග්ලාදේශ ඒ කණ්ඩායම අතර දෙවැනි සිව්දින ටෙස්ට් තරගය මේ මස 3 වැනිදා හම්බන්තොටදී ආරම්භ වීමට නියමිතය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.